ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය
මෙරට වෙරළ තිරයන් ජෛව විවිධත්වයෙන් පිරුණු සමුද්‍ර සහ වෙරළ පරිසර පද්ධති වලින් සමන්විත වේ. ස්වාභාවික සම්පත්වලින් ගහන මෙම ප්‍රදේශ ලෝකයේ මිලියන ගණන් ජනතාවට ජීවනෝපාය සැපයීමේ භූමිකාවක් ඉටු කරයි. වෙරළබඩ පරිසරයන්ගේ පවතින ස්වාභාවික සුන්දරත්වය සංචාරක කර්මාන්තය සදහා මහත් රුකුලක් වන අතර මෙමගින් ජාතික ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් ලබා දෙයි.
කෙසේ වුවද, වෙරළ කලාපවල සිදු කරන මිනිස් ක්‍රියාකාරකම්, සංචාරක ව්‍යාප්තිය, ජනගහණය වැඩිවීම සහ අනෙකුත් හේතුවෙන් දිනෙන් දින පරිසර දුෂණයට දැඩි ලෙස ලක්වෙයි. මෙවැනි පරිසර දූෂණයන් මගින් සංවේදී සමුද්‍රීය පරිසර පද්ධති විනාශයට පත්කරමින් අවසානයේ ඒවායේ විනාශය ඇති කරයි. එමඟින් ජීවනෝපායන් අහිමි වීම, සෞඛ්‍ය ගැටළු සහ ජාතික ආර්ථිකයට දැඩි බලපෑම් සිදුවේ.
ඒ හේතුවෙන්, වෙරළ දූෂණය වැළැක්වීම සහ වෙරළ කලාපය සහ එහි පරිසර පද්ධති ආරක්ෂා කිරීම ඉතාමත් වැදගත් වේ. මෙවැනි වටිනා ස්වාභාවික සම්පත් තිරසාරව භාවිතා කිරීම අත්‍යවශ්‍යය.
වසර 30 කට පමණ පෙර, Ocean Conservancy ආයතනය විසින් ලෝකය පුරා වෙරළ පරිසරය ආරක්ෂා කිරීම උදෙසා ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය (International Coastal Cleanup Day) ආරම්භ කරන ලදී. සැප්තැම්බර් මාසයේ තෙවැනි සෙනසුරාදා දින මෙම දිනය වාර්ෂිකව සමරනු ලැබේ. ලෝකය පුරා පුද්ගලයන් සහ ආයතන එකමුතුවෙමින් වෙරළ සහ ජල මාර්ග පිරිසිදු කිරීමේ මෙහෙයුම් වල නිරත වීමට මෙම දිනය මඟින් උනන්දු කරයි.
Ocean Conservancy ආයතනය පවසන්නේ “ලෝකයේ පුරා ස්වෙච්ඡා සංවිධාන සහ පුද්ගලයින් සමඟ සහයෝගයෙන්, ජාත්‍යන්තර වෙරළ පවිත්රතාදිනය (ICC) මගින් වෙරළ සහ ජල මාර්ගවලින් අපද්‍රව්‍ය ඉවත් කිරීමට පුද්ගලයන් ඒකරාශි කරයි. මේ වන විට ස්වේච්ජාපුද්ගයින් මිලියන 16කට වඩා වැඩි සංඛ්යාවක්මිලියන 340කට වඩා වැඩි අපද්‍රව්‍ය එකතු කර ඇත.” මෙම විශිෂ්ට උත්සාහය ලෝකයේ වෙරළ කලාප ආරක්ෂා කිරීමේදීජාත්යන්තර වෙරළ පවිත්‍රතා වැඩසටහන මගින් සිදුකරන දැවැන්ත බලපෑම ඉතා පැහැදිළිව පෙන්වයි.
පාරිසරික සහ සාගර සංරක්ෂණ සංවිධාන, සහ ලෝකය පුරා විවිධ ආයතන Ocean Conservancy සමඟ එකතුවෙමින් මෙම දිනයෙහි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් සංවිධානය කරයි. වාර්ෂිකව රටවල් 100කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම වැඩසටහන් වලට සහභාගී වීම ලෝක පුරා වෙරළ දූෂණය සඳහා පිළියමක් සෙවීමේ ඒකමුතුභාවය පෙන්වයි.
ශ්‍රී ලංකාවේදී, 2008 සිට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) ජාත්‍යන්තර වෙරළ පවිත්‍ර කිරීමේ දිනය සමරන වැඩසටහන් සංවිධානය කරමින් ඇත.වසර ගණනාවක් පුරා සිදුකළ නාගරීකරණය සහ සංවර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වෙරළ තීරය දැඩි සමුද්‍ර සම්පත් පිරිහීමක සහ දූෂණයකට ලක්වී ඇත.
2016 දී කැබිනට් පත්රියකින් “සමුද්‍ර සම්පත් සුරකිමේ සතිය” ලෙස සතියක් වෙන්කරමින් ජාත්‍යන්තර වෙරළ පවිත්‍ර කිරීමේ දිනයට අනුකූලව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන කරනු ලබයි.
මෙම වැඩසටහන සෑම වෙරළ දිස්ත්‍රික්කයකම සිදු කරමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සහභාගීත්වය වර්ධනය කිරීමත්, වැඩසටහනේ සම්පූර්ණ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමත් අරමුණු කර ගනු ලැබේ. සතියක් පුරා සිදු කරන වෙරළ පවිතුතා සහ වෙරළ සංරක්ෂණ සහ දැනුවත් කිරිමේ වැඩසටහන් මගින් සමුද්‍ර පරිසර සංරක්ෂනයට රුචි ස්වෙච්ඡා පිරිස් ආකර්ෂණය කිරීමත්, සාමුහික ක්‍රියාවලියක් ඇති කිරීමත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් බලාපොරොත්තු වෙයි.