MEPA ඇකඩමිය
ශ්‍රී ලංකාවේ සමුද්‍ර කලාපය, එහි භූමි ප්‍රමාණය මෙන් අට ගුණයකට ආසන්න ප්‍රදේශයක් ආවරණය කරමින්, ආර්ථික සංවර්ධනය සඳහා අතිමහත් විභවයක් දරයි. මෙම විභවය තිරසාර ලෙස නෙලා ගැනීම සඳහා සමුද්‍රයට අදාළ සියලුම පාර්ශවකරුවන්ගේ මනා දැනුවත්බාවය හා කුසලතාව පිටිවහලක් වේ. මෙම අවශ්‍යතාවය හඳුනා ගනිමින්, සමුද්‍ර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සමුද්‍ර අධ්‍යයන, කුසලතා සංවර්ධනය සහ සමුද්‍ර සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ මධ්‍යස්ථානයක් වශයෙන් MEPA ඇකඩමිය ස්ථාපිත කර ඇත.
ඇයි MEPA ඇකඩමියක්?
ඉලක්ක සහ අරමුණු
ඉලක්ක කණ්ඩායම්
ඇයි MEPA ඇකඩමියක්?
සමුද්‍ර පරිසරය ආරක්ෂා කිරීම, අදාල පර්යේෂණ පැවැත්වීම මෙන්ම සමුද්‍ර කටයුතු ආශ්රිත වෘත්තිකයන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම මත සමුද්‍ර සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීම රඳා පවතී. ශ්‍රී ලංකාවේ ආයතන කිහිපයක් මගින් සමුද්‍ර කටයුතු ආශ්රිත අධ්‍යාපනය සහ පුහුණුව පිළිබඳව අවධානය යොමු කළද, සමෘද්ධිමත් නිල් ආර්ථිකයක් සඳහා වන ජාතික අභිලාෂයන්ට සහාය වීම සඳහා විධිමත්, මධ්‍යගත ආයතනයක දැඩි අවශ්‍යතාවයක් පවතී. මෙම හිඩැස පිරවීම සඳහා, සමුද්‍ර අධ්‍යයනයන්හි ප්‍රා යෝගික යෙදවීම් වල විශේෂඥතාව පෝෂණය කිරීමේ අරමුණින් MEPA ඇකඩමිය ආරම්භ කරන ලදී. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පරිසර අධ්‍යයන මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලය සහ මහපොළ වරාය සහ සමුද්‍රීය ඇකඩමිය වැනි ප්රමුඛ ආයතන සමඟ සහයෝගයෙන්, MEPA ඇකඩමිය විවිධ සමුද්‍ර ආශ්රිත ක්ෂේත්රයන්හි අවශ්‍යතාවලට ගැලපෙන, පිළිගත් හා කාලානුරූපී පුහුණු වැඩසටහන් ලබා දෙයි.
ඉලක්ක සහ අරමුණු
MEPA ඇකඩමිය මගින් අපේක්ෂා කරනුයේ:
- දූෂණයෙන් තොර සමුද්‍ර පරිසරයක වැදගත්කම පිළිබඳව දැනුවත්භාවය ඇති කිරීම.
- කාර්යක්ෂම ලෙස සම්පත් භාවිතය සඳහා සමුද්‍ර ආශ්රිත වෘත්තිකයන් අතර කුසලතා වර්ධනය කිරීම.
- සමුද්‍ර අධ්‍යයන පර්යේෂණ අවස්ථා පුළුල් කිරීම.
මෙම ප්රයත්නයන් මගින් සංවේදී සමුද්‍ර පරිසර පද්ධතිය ආරක්ෂා කරමින්, ශ්‍රී ලංකාවේ සමුද්‍ර සම්පත් වලින් තිරසාර ලෙස ඵල නෙලා ගැනීමේ ශක්‍යතාව සහිත ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට MEPA ඇකඩමිය උත්සාහ කරයි.
ඉලක්ක කණ්ඩායම්
MEPA ඇකඩමිය පුළුල් පරාසයක පාර්ශ්වකරුවන්ට සේවය සපයයි, එම පාර්ශ්වකරුවන්/ වෘත්තිය ක්ශේත්‍රයන් පහත පරිදි වේ.
- ධීවර, නාවික සහ සංචාරක අංශවල වෘත්තිකයන්.
- නැව්වලින් ජනනය වන අපද්‍රව්‍ය/ දැවි තෙල් ප්‍රවාහනයට සම්බන්ධ අපද්‍රව්‍ය ප්‍රතිග්‍රහණ සේවා සපයන්නන්, බවුසර් රියදුරන් සහ ඔවුන්ගේ සහායකයින්.
- රජයේ නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන සහ තෙල් කාන්දුවීම් සඳහා පළමු ප්‍රතිචාර දක්වන්නන්.
- පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු අනාගත පරම්පරාවේ සමුද්‍ර සංරක්ෂණවාදීන්.