2026 ජූනි 08 දිනට යෙදී තිබූ ජගත් සාගර දිනය සැමරීමේ ජාතික උත්සවය ගරු පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතාගේ ධානත්වයෙන් වෝටර්ස් එජ් (Waters Edge) හෝටලයේදී පැවත් විය.
ජගත් සාගර දිනය නිමිත්තෙන් සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලයේ පරිසර අධ්යයන හා තිරසාර සංවර්ධන මධ්යස්ථානය (CESSD) එක්ව සංවිධානය කරනු ලැබූ “1 වන සමුද්රීය විද්යාව සහ තිරසාරත්වය පිළිබඳ ජාත්යන්තර පර්යේෂණ සම්මන්ත්රණය” (1st International Conference on Marine Science and Sustainability – ICMSS 2026) ජුනි 08 දින ගරු පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ විය.
ඉන්දියන් සාගරයේ මුතු ඇටය බඳු වූ අපේ මව්බිම වටා ඇති නිල්වන් සාගර පද්ධතිය, ශ්රී ලාංකික අපට සොබාදහමෙන් ලැබුණු වටිනාම දායාදයකි. එය අපේ ධීවර ප්රජාවගේ ජීවනෝපාය වන අතරම, රටේ ආර්ථිකයේ නියමුවා මෙන්ම ජෛව විවිධත්වයේ මහගෙදර ද වෙයි. මෙම වටිනා සම්පත සුරැකීම වෙනුවෙන් ලෝක සාගර දිනයට සමගාමීව වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි.
ශ්රී ලංකාව ඉන්දියන් සාගරයේ නාවික කේන්ද්රස්ථානයක් ලෙස පාරිසරික පාලනය සහ කලාපීය සහයෝගීතාව උදෙසා නායකත්වය ලබා දෙන රටක් බැවින්, “සාගරය සුරැකීම: වෙනස් වන ලෝකයක් සඳහා විද්යාව, තිරසාරත්වය සහ විසඳුම්” (Safeguarding the Ocean: Science, Sustainability and Solutions for a Changing World) යන කාලීන තේමාව ඔස්සේ ජුනි 08 සහ 09 දෙදින පුරා මෙම සම්මන්ත්රණය පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබුණි. මෙම අවස්ථාව සඳහා පරිසර අමාත්යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා, සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති ආචාර්ය සමන්ත ගුණසේකර මහතා, සාමාන්යාධිකාරී ජගත් ගුණසේකර මහතා ඇතුළු දේශීය හා විදේශීය පර්යේෂකයන්, විද්වතුන් මෙන්ම අදාළ රාජ්ය සහ රාජ්ය නොවන සංවිධානවල නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
ගරු පරිසර අමාත්ය වෛද්ය දම්මික පටබැඳි මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම සමුළුවේදී, සාගර සම්පත් සුරැකීම සහ “නිල් ආර්ථිකය” (Blue Economy) නංවාලීම සඳහා නව රජය ක්රියාවට නංවා ඇති විද්යාත්මක සහ තිරසාර වැඩපිළිවෙළ ඇගයීමට ලක් විය. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (විශේෂයෙන්ම SDG 14 – ජලයෙන් යට ජීවය සහ SDG 13 – දේශගුණික පියවර) සපුරාලීමට රජය දක්වන කැපවීම අනුමත කරමින්, විවෘත විශ්වවිද්යාලයේ උපකුලපති ජ්යෙෂ්ඨ මහාචාර්ය පී.එම්.සී. තිලකරත්න මහතා, සමුද්රීය පරිසර ආරක්ෂණ කවුන්සිලයේ සභාපති මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය සහ විවෘත විශ්වවිද්යාලයේ පර්යේෂණ ඒකකයේ අධ්යක්ෂ ජ්යෙෂ්ඨ මහාචාර්ය ශ්යාමා වීරකෝන් මහත්මිය විසින් ද මෙහිදී අදහස් දක්වන ලදී.
මෙහිදී ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ මහාචාර්ය කමල් රණතුංග මහතා විසින් සාගර දූෂණය, දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය මුහුණ දෙන අභියෝග පිළිබඳව ප්රධාන දේශනය පවත්වන ලදී. සාගර දූෂණය පාලනය, සාගර ප්රතිපත්ති සහ නීතිය, ධීවර හා ආහාර සුරක්ෂිතතාව සහ සමුද්රීය තාක්ෂණය වැනි ප්රධාන ක්ෂේත්ර 8ක් (Tracks) ඔස්සේ දේශීය හා ජාත්යන්තර පර්යේෂකයින් 300කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව පර්යේෂණ පත්රිකා ඉදිරිපත් කිරීම මෙහිදී සිදු කෙරුණි.
මෙම සමුළුවේ සුවිශේෂීම අවස්ථාව සනිටුහන් කරමින්, වෙරළ පවිත්රතා කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සහ සමුද්රිය අපද්රව්ය කළමනාකරය කිරීම සඳහා ශ්රී ලංකාවේ ප්රථම වතාවට ජංගම යෙදුමක් “Ocean Watch” (Mobile App) එකක් හඳුන්වා දීමට කටයුතු කරන ලද එසේම මෙහිදී පර්යේෂණ පත්රිකා ඇතුළත් කෘතිය (Conference Proceedings) පරිසර අමාත්යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතාගේ ද සහභාගීත්වයෙන් ගරු අමාත්යතුමා අතින් එළිදැක්විණි. මෙම සියලු පර්යේෂණ පත්රිකා සඳහා ජාත්යන්තර DOI අංක ලබාදී ඇති අතර, ඉන් තෝරාගත් පර්යේෂණ පත්රිකා ජාත්යන්තරව පිළිගත් ‘Web of Science’ සුචිගත (Indexed) සඟරාවක් වන Sri Lanka Journal of Aquatic Sciences හි ප්රකාශයට පත් කිරීමට නියමිතය.
සමුළුවට සමගාමීව, සාගර සුන්දරත්වය සහ එහි ඛේදවාචකය විදහා දැක්වූ “සොබා සෙයා” කලා සහ ඡායාරූප ප්රදර්ශනයේ ප්රධාන විනිශ්චය මණ්ඩල සභාපති ප්රගීත් රත්නායක මහතා ඇතුළු පිරිසට සමරු තිළිණ පිරිනැමීම සහ ජයග්රාහකයින්ට සහතික පත්ර ප්රදානය කිරීම ද සිදු විය. මුළු උත්සවයම සංස්කෘතික හා විනෝදාත්මක අංගයන්ගෙන් හැඩ ගැන්වී තිබුණි.
නව රජය ලෙස, ශ්රී ලංකාවේ සාගර කලාපය සුරක්ෂිත කරමින් “නිල් ආර්ථිකය” (Blue Economy) ශක්තිමත් කිරීම උදෙසා විද්යාත්මක හා ප්රායෝගික වැඩපිළිවෙළක් දැනටමත් ආරම්භ කර ඇත. ඊයේ දින සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ ශ්රී ලංකා විවෘත විශ්වවිද්යාලය (OUSL) එක්ව ඇරඹි “1 වන ICMSS 2026 සාගර විද්යා සහ තිරසාරත්ව ජාත්යන්තර සමුළුව” සහ “Ocean Watch” ජංගම යෙදුම (Mobile App) හඳුන්වා දීම, තාක්ෂණය ඔස්සේ සාගරය සුරැකීමට තැබූ තීරණාත්මක පියවරකි.


