2026 ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියේ ප්‍රධාන සැමරුම් උත්සවය.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා , අත්තම’ ජාතික වැඩසටහනේ පූර්ණ සහයෝගීතාවයෙන් සංවිධානය කළ 2026 ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියේ ප්‍රධාන සැමරුම් උත්සවය සැප්තැම්බර් 19 පානදුර වෙරළ උද්‍යානයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මියගේ සහභාගිත්වයෙන් පැවති මෙම ජාතික උත්සවය සඳහා ජනාධිපති අතිරේක ලේකම් ඉංජිනේරු එස්. පී. සී. සුගීශ්වර මහතා, MEPA සභාපති ආචාර්ය කේ. වී. ආර්. එස්. ගුණසේකර මහතා සහ පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පත්මා අබේකෝන් මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ. එසේම ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, පානදුර නගරාධිපතිතුමන්, ප්‍රාදේශීය සභා සභාපතිතුමන්, ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු රාජ්‍ය හා පුද්ගලික අංශයේ නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම උත්සවයට සමගාමීව 600කට අධික ආරක්ෂක අංශ සාමාජිකයින්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම සිවිල් ජනතාවගේ දායකත්වයෙන් දැවැන්ත වෙරළ පවිත්‍රතා ශ්‍රමදානයක් පානදුර වෙරළ තීරයේදී ක්‍රියාත්මක විය. මෙහිදී වෙරළට එක්වන අපද්‍රව්‍ය පහසුවෙන් ඉවත් කර වෙරළ පවිත්‍රතා කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් වෙරළ පවිත්‍රතා යන්ත්‍ර බෙදා දීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වූ අතර, ඊට අදාළ ගිවිසුම් හුවමාරු කිරීම සහ එම යන්ත්‍ර සංකේතාත්මකව පරිත්‍යාග කිරීමද මෙහිදී සිදුවීම විශේෂත්වයකි. මීට අමතරව පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති චිත්‍ර හා කලාත්මක නිර්මාණ තරගයේ ජයග්‍රාහකයින්ට සහතික හා ත්‍යාග ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.

මේ හා සමගාමීව දිවයිනේ සියලුම වෙරළබඩ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දීපව්‍යාප්තව සමුද්‍ර පරිසර හිතකාමී වැඩසටහන් 650 කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. සැප්තැම්බර් 19 දිනෙන් ආරම්භ වී සැප්තැම්බර් 25 වනදා දක්වා ක්‍රියාත්මක ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය තුළදී දිවයින පුරා වෙරළ පවිත්‍රතා වැඩසටහන්, මුහුදු පත්ල පිරිසිදු කිරීමේ විශේෂ මෙහෙයුම්, ධීවර වරායන් සහ නැංගුරම් පොළවල් පිරිසිදු කිරීම, වෙරළබඩ ප්‍රජාව දැනුවත් කිරීම මෙන්ම කඩොලාන, කලපු සහ ගංගා මෝය පිරිසිදු කිරීම් සිදු කිරීමට නියමිතය. එසේම වෙරළ ආශ්‍රිත ශාක ප්‍රජාව හා පරිසර පද්ධති සංරක්ෂණය කිරීම සහ එල්නිනෝ තත්ත්වය ඇතුළු දේශගුණික විපර්යාස පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන්ද මෙම සතිය පුරාවටම ක්‍රියාත්මක වේ.

අපේ මුහුදු වෙරළ, අපේ අනාගතයයි! පිරිසිදු සමුද්‍රයක් වෙනුවෙන් අපිත් එක්වෙමු.

Share this post
Facebook
Twitter
LinkedIn
WhatsApp